ජාතික දත්ත හුවමාරු කරගැනීමේ ප්‍රතිපත්තිය (කෙටුම්පත)

පසුබිම

රජයේ විවිධ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ නියෝජිතායතන තොරතුරු විශාල ප්‍රමාණයක් අනෙක්වායින් හුදකලාව පවතී. රාජ්‍යය ආයතනයක තොරතුරු පවත්වා ගෙන යාම සඳහා සැලකිය යුතු සම්පත් ප්‍රමාණයක් අවශ්‍ය වේ. නමුත් තොරතුරු ගබඩා කිරීම, පරිහරණය සහ හැසිරවීම සඳහා ජාතික ප්‍රමිති ‍නොමැතිවීම මෙම තත්වය අයහපත් කර තිබේ. හුදකලාව පවතින තොරතුරු කාර්යක්ෂමව සහ අඛණ්ඩව හුවමාරු කිරීම සහ ඒකාබද්ධ කිරීම සඳහා අවශ්‍යතාවක් පවතී.

මෙම පසුබිම තුළ, ඒකාබද්ධ තොරතුරු සහ සේවා සාකල්‍යය ආකාරයකින් සැපයීමේ ක්‍රියාදාමයක් අර්ථ නිරූපණය කරන්නා වූ තොරතුරු සහ සේවා වර්ගීකරණ රාමුවක් සකස් කරන ලදි. අවශ්‍ය කරනු ලබන තොරතුරු සහ සේවාවන්හි මූලාශ්‍ර, හිමිකරුවන්, සංවේදිතා මට්ටම්, ආරක්ෂා මට්ටම් හඳුනා ගැනීමට එම රාමුව කටයුතු කරනු ඇත. එසේම, ඵලදායිතාව සහ පාරදෘශ්‍යභාවය වැඩි දියුණු කිරීම පිණිස රජයේ සංවිධාන අතර දත්ත සහ තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා එමගින් පහසුකම් සපයනු ඇත.

විෂයපථය

නිර්වචිත දත්ත හුවමාරු කර ගැනීමේ ප්‍රතිපත්තිය ශ්‍රී ලංකා රජය එහි ආශ්‍රිත දෙපාර්තමේන්තු/ අමාත්‍යාංශ/ නියෝජිතායතන විසින් රාජ්‍ය අරමුදල් යොදා ගනිමින් නිර්මාණය කරනු ලබන, උත්පාදනය කරනු ලබන, එක් රැස් කරනු ලබන හෝ ලේඛනාරක්ෂණය කරනු ලබන සියලු දත්ත සඳහා අදාළ වේ.

ශ්‍රී ලංකා රජයේ දත්ත වර්ගීකරණ රාමුව මගින් දත්ත වෙත නියම කරනු ලබන ආරක්ෂක වර්ගීකරණය ප්‍රකාරව දත්ත වෙත ප්‍රවේශ්‍යතාව සහතික කළ යුතුය. දත්ත සහ සේවා වර්ගීකරණ රාමු විසින් හුවමාරු කර ගත හැකි යැයි වර්ගීකරණ කර ඇති දත්ත ඒවා අවශ්‍ය සහ පරිහරණය සඳහා අවසරය ලබා දී ඇති සියලු දෙනාට ඒකරූපීව ප්‍රවේශ්‍ය විය හැකි විය යුතුය. දත්ත සංවේදී වන අවස්ථාවන්හිදී, ශ්‍රි ලංකා රජය සඳහා දත්ත හා සේවා වර්ගීකරණ රාමුව විසින් නිර්වචනය කර ඇති පරිදි යෝග්‍ය පාලන සහිතව අදාල ආයතන ජනතාව සමග හුවමාරු කර  ගනු ඇත.

දත්ත හුවමාරු කර ගැනීමේ ප්‍රතිපත්තිය සඳහා අරමුණු

ප්‍රතිපත්තියේ අරමුණ වනුයේ තොරතුරු සපයන්නාගේ සහ තොරතුරු සොයන්නාගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින් අදාළ පාර්ශවයන්ට හුවමාරු කර ගත හැකි තොරතුරු වෙත ප්‍රවේශයක් සඳහා අන්තර්-සම්බන්ධිත පද්ධතියක් නිර්මාණය කිරීමට උපකාරී වීමයි. විද්‍යුත් ආකාරයෙන් හෝ මුද්‍රිත වාර්තා ආකාරයෙන් යන කවර ආකාරයෙන් පැවතිය ද ‍මෙම ප්‍රතිපත්තිය සියලු දත්තවලට අදාළ විය යුතුය.

“මෙමගින් පුද්ගලයන්ට, සිවිල් සමාජයට සහ රටට අන්‍යෝන්‍යව ප්‍රතිලාභ ප්‍රවර්ධනය පිණිස අවශ්‍ය ජනතාවට අවශ්‍ය වෙලාවට සුරක්ෂිත, විශ්වසනීය ආකාරයකින් අඛණ්ඩව තොරතුරු ‍ලබාදීමට හැකියාව ඇතිකරන ඒකාබද්ධ වේදිකාවක් නිර්මාණය කරනු ලැබේ. "

එම ප්‍රතිපත්තියෙන් පහත දැක්වෙන ප්‍රතිඵල සාක්ෂාත් කර ගැනීම අදහස් කෙරේ

1. දෙපාර්තමේන්තුව තුල සහ මහජනයා අතර සුමට හා අඛණ්ඩ දත්ත හුවමාරු කර ගැනීම

රජයේ ප්‍රතිපත්තිය අරමුණ වී ඇත්තේ රාජ්‍යය ආයතන අතර පමණක් නොව ජනතාව අතර තොරතුරු හුවමාරු කර ගැනීමයි. (අවසර දෙනු ලැබූ හෝ සීමිත ප්‍රවේශයක් මත) සේවා සැපයීම සඳහා එකම දත්ත භාවිතා කරන රාජ්‍යය ආයතන සඳහා මෙය ප්‍රධාන හැකියා කාරකයක් වනු ඇත. එවැනි අවස්ථාවකදී, නැවත තොරතුරු රැස්කිරීමට රාජ්‍යය ආයතන අවශ්‍ය නොවීමට ඉඩ ඇති අතර දැනටමත් පවතින තොරතුරු අනෙකුත් රාජ්‍යය ආයතන සමග පරිහරණය කිරීමට හැක.

2. ඒකාබද්ධ ඉ-සේවා සැපයුමක් නිර්මාණය කිරීම

තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ ලාභාංශ සෑම ගමක් වෙතම, සෑම පුරවැසියෙක් වෙතම සහ සෑම ව්‍යාපාරික ආයතනයක් වෙතම රැගෙන යාම පිණිස සහ රජය සිතන හා කටයුතු කරන ආකාරය පරිණාමනය කිරීම පිණිස රාජ්‍ය අංශය සහ පුද්ගලික අංශය අතර බහුවිධ පාර්ශවකාර හවුල්කාරිත්ව වර්ධනය කරන්නා වූ ‘ඩිජිටල්- ශ්‍රි ලංකා’ ක්‍රියාවට නැංවීමට ද ව්‍යාපෘතිය සහාය දක්වනු ඇත. මෙම හැකියාව ඇතිකිරීමේ දී සාර්ථකත්වය සදහා දායක වූ ප්‍රධාන සාධකයක් වනුයේ යෝග්‍ය වර්ගීකරණ මට්ටම් මත පාදකව තොරතුරු හුවමාරු කර ගැනීමකින් තොරව සාක්ෂාත් කරගැනීමට නොහැකි ඒකාබද්ධ සේවා සැපයුම් වේදිකාවක් පැවතීමයි.

3. ජනතාව විසින් සපයනු ලබන දත්ත

රජය සතු තොරතුරු මහජන මුදලින් උත්පාදනය කරනු ලැබ ඇති අතර එබැවින් දත්ත හුවමාරු කර ගැනීම ජනතා යහපතට හෝ ජාතියේ යහපතට අනර්ථකාරී නොවන තාක් ඒවා සැවොම සඳහා පහසුවෙන් ප්‍රවේශ විය හැකි තත්වයට පත්කළ යුතුය.

4. සැළකිය යුතු ප්‍රමාණයක දත්ත ප්‍රතිශතයක් සංවේදී නොවීම

රජය සමග උත්පාදනය කරනු ලබන දත්ත විශාල ප්‍රතිශතයක් සංවේදී නොවිය හැකි බැවින් එවැනි දත්ත ප්‍රචාරණය සීමාකිරිමෙන් සිදුවනුයේ විද්‍යාත්මක, පර්යේෂණ, සමාජීය සහ ආර්ථික සංවර්ධන කාර්යයන් සඳහා එම දත්ත යොදා ගැනීම වළක්වාලීම පමණි. එබැවින්, යෝග්‍ය පාලන විධි සහිතව එවැනි කාර්යයන් සඳහා හුවමාරු කර ගත හැකි දත්ත පරිහරණය කරනු ලැබීමට ජාතික මට්ටමේ ප්‍රතිපත්තිය උපකාරක වනු ඇත.

5. විවෘත රාජ්‍ය මූලධර්ම ප්‍රවර්ධනය කිරීම(www.opengovpartnership.org):

අ) පොදු තොරතුරු වෙත ප්‍රවේශය සැපයීම

ආ) දූෂණය සහ අකාර්යක්මෂතාව අඩුකිරීමට හේතු පාදක වෙමින් තොරතුරු වෙත ප්‍රවේශය

ඇ)පද්ධතියේ ‍මූල්‍ය විනිවිදභාවය

ඈ) තොරතුරු සැපයීම සහ නිරවද්‍යතාව පවත්වාගනු පිණිස වැඩි වගවීමක් රැගෙන ඒම

ඉ) රාජ්‍ය සේවා සඳහා ඒකාබද්ධ කවුළුව

ඊ) ජාතික මට්ටමේ රාජ්‍ය පාලනය සහ පුරවැසි සහභාගිත්වය ප්‍රවර්ධනය කිරීම

එ) දෙපාර්තමේන්තු විධිනියෝග, නීති සහ රාජ්‍ය ක්‍රියාකාරීත්වය පිළිබඳ අන්තර්දෘෂ්ඨින්ට වැඩි ප්‍රවේශයක් ලබාදීම

ඒ) කාල නිශ්චිත සේවා මත පදනම්වූ සේවා ඉල්ලීම් සහ මහජන දුක් ගැනවිලි වඩා කඩිනම්ව නිමා කිරීමට හේතු වන අතර වඩා ඉහළ වගවීමක් සපයනු ඇත

6. පාලන රාමු නිර්මාණය කිරීම

රජයේ දෙපාර්තමේන්තු/ අමාත්‍යාංශවල දත්ත හුවමාරු කර  ගැනීමේ රාමුවක් ක්‍රියාවට නැංවීම අධීක්ෂණය කිරීම සහ ඇගයීම පිණිස පාලන රාමුවක් නිර්මාණය කිරීම ද ප්‍රතිපත්තියේ අරමුණක් වනු ඇත. ඒ සඳහා වන ඇතැම් පියවර වනුයේ-:

අ)   දත්ත පරිහරණය කිරීමට උත්සාහ දරන ජනතාවට ප්‍රතිචාර දැක්වීම පිණිස ඒ කාර්ය සඳහාම අයෙකු නම් කළ යුතුය.

ආ) මූලධර්ම උල්ලංඝනය කිරීම් පිළිබඳ පැමිණිළිවලට ප්‍රතිචාර දැක්වීම පිණිස ඒ කාර්ය සඳහාම අයෙකු නම් කළ යුතුය.

ඇ) නියෝජිතායතනය මෙම මූලධර්ම උචිත පරිදි ආදේශ කර ඇත්දැයි සමාලෝචනය පිණිස කමිටුවක් පත් කල යුතුය.

මේ පිළිබඳ විස්තර පහත ඡේදයන්හි සඳහන් කර ඇත.

7. දත්ත හුවමාරු කර ගැනීම සඳහා නෛතික, තාක්ෂණික, මෙහෙයුම් සහ විපර්යය කළමනාකරණ රාමුවක් නිර්මාණය කිරීම සඳහා මාර්ගෝපදේශ

රජයේ දෙපාර්තමේන්තු/ අමාත්‍යාංශවල දත්ත හුවමාරු කර ගැනීමේ රාමුවක් ක්‍රියාත්මක කිරීම සඳහා නෛතික, තාක්ෂණික, මෙහෙයුම් සහ විපර්යය කළමනාකරණ රාමුවක් නිර්මාණය කිරීම සඳහා මාර්ගෝපදේශ සැපයීමට ද මෙම ප්‍රතිපත්තිය අරමුණු කරයි. මෙම ඡේදය යටතේ සඳහන් කරනු ලැබීමට නියමිත මාර්ගෝපදේශවල සාරාංශයක් මෙහි සඳහන් කර ඇති අතර වැඩි විස්තර පහත ඡේදයන්හි සඳහන් කරනු ලැබ ඇත.

අ) නෛතික - ආරක්ෂක ප්‍රතිපත්ති, බුද්ධිමය දේපළ අයිතිවාසිකම් සහ පුද්ගලිකත්වය පිළිබඳ  මාර්ගෝපදේශ

ආ) තාක්ෂණික - සේවා සැපයුම් යාන්ත්‍රණ, සබඳතාව, දත්ත ප්‍රමිති සහ සංඛ්‍යාකනය සටහන් කිරීම

ඇ) මෙහෙයුම් - සැලසුම් සහ අවදානම් කළමනාකරණය ක්‍රියාත්මක කිරීම

ඈ) විපර්යය කළමනාකරණය - පුහුණුවීම් සහ දැනුවත් කිරීමේ වැඩසටහන්

ජාතික දත්ත හුවමාරු කර ගැනීමේ ප්‍රතිපත්තියක් නිර්මාණය කිරිම, ශ්‍රි ලංකාවේ විවෘත දත්ත සංකල්ප සහ තොරතුරු දැනගැනීමේ අයිතිය සාක්ෂාත් කරගැනීම කෙරෙහි තැබූ වැදගත් පියවරකි. මෙම ජාතික දත්ත හුවමාරු කර ගැනීමේ ප්‍රතිපත්තිය එහි පදනම ලබාගත්තේ සේවා වර්ගීකරණ රාමුවෙන් වන අතර තවදුරටත් එය තොරතුරු දැන ගැනීමේ අයිතිය හරහා සවිබල ගන්වනු ලැබූ තොරතුරු/දත්ත වර්ගීකරණ රාමුව මත පදනම්ව ඇත. රාජ්‍යය ආයතන මට්ටමේ තොරතුරු හුවමාරු කර ගැනීමේ ප්‍රතිපත්තිය ව්‍යුත්පන්න වූයේ ජාතික දත්ත හුවමාරු කර ගැනීමේ ප්‍රතිපත්තියෙන් වන අතර එය ඒ හා සමග අනුකූල විය යුතුය.

දත්ත හුවමාරු කර ගැනීමේ ප්‍රතිපත්තියේ වැදගත් සංරචක වනුයේ පහත දෑය:

දත්ත වර්ගිකරණ රාමුව – දත්ත වර්ගීකරණය පදනම්ව ඇත්තේ වෙනස් පාර්ශවකරුවන් සමග තොරතුරු හුවමාරු කර ගැනීමේ බලපෑම මතය. බලපෑම සහ අනාවරණයන් මත පදනම්ව, යෝග්‍ය පාලන විධි හඳුනාගනු ලැබේ.

සේවා වර්ගීකරණ රාමුව – සේවා වර්ගීකරණ රාමුව විකසනය වනුයේ තොරතුරු/ දත්ත වර්ගීකරණ රාමුවෙන් වන අතර සේවාවක් ලෙස තොරතුරු වත්කම් (දත්ත මූලිකංග එකතු කිරීම) හුවමාරු කර ගැනීම අරමුණු කරයි. එම සේවා දත්ත සේවා හෝ සත්‍යාපන සේවා ලෙස හුවමාරු කර ගනු ලබන අතර විවෘත, අවසර දෙනු ලැබූ සහ සීමා කරන ලද යන මට්ටම් තුනේදී හුවමාරු කර  ගැනීමට හැකිය.

යම් සේවාවකට වෙන්කරනු ලැබූ ආරක්ෂක අනන්‍යතාව, යටත් පිරිසෙයින් සේවා සැපයුම අතරතුරදී හුවමාරු කර ගනු ලබන හෝ පවරනු ලබන දත්තයන්හි ඉහළම ආරක්ෂක වර්ගීකරණයම විය යුතුය.

දත්ත හුවමාරු කර ගැනීමේ ප්‍රතිපත්තිය – දත්ත හුවමාරු කර ගැනීමේ ප්‍රතිපත්තිය නිර්මාණය කරනු ලැබ ඇත්තේ දත්ත/සේවා වර්ගීකරණ රාමු මත පදනම්ව වේ. ජාතික දත්ත හුවමාරු කර ගැනීමේ ප්‍රතිපත්තියේ විෂය සීමාව තුළ, තොරතුරු සඵලව හුවමාරු කර  ගැනීම සඳහා  ස්ථාපිත කිරීමට අවශ්‍ය වන්නා වු පාලන විධි ක්‍රියාත්මක කිරිම පිණිස නෛතික, මෙහෙයුම්, තාක්ෂණික සහ විපර්යය කළමනාකරණ රාමු සපයන්නා වූ දෙපාර්තමේන්තු නිශ්චිත දත්ත හුවමාරු කර  ගැනීමේ ප්‍රතිපත්ති නිර්මාණය කිරීමට ඉඩ ඇත.

 

පහත දැක්වෙන ඡේදය, ගෝලීය යහපත් පරිචයන් සහ ශ්‍රි ලංකා දත්ත සහ සේවා වර්ගීකරණ රාමු මත පදනම්ව දත්ත හුවමාරු කර ගැනීමේ ප්‍රතිපත්ති රාමුව විස්තර කරයි.

5.1 දත්ත හුවමාරු කර ගැනීමේ මූලධර්ම

රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ නියෝජිතායතන විසින් තොරතුරු හුවමාරු කර ගැනීමේදී පහත දැක්වෙන මුලධර්මයන්ට අනුකූලව කටයුතු කළ යුතුය.

අ. පාරදෘශ්‍යභාවය

දත්ත හුවමාරු කර ගැනීමේ ප්‍රතිපත්තිය දෙපාර්තමේන්තුවේ කර්තව්‍යයන්හි වැඩි පාරදෘශ්‍යභාවයක් ඇති කිරීම ඉලක්ක කරගත යුතුය. දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර කටයුතු (දෙපාර්තමේන්තු විධිනියෝග මගින් නිශ්චිතව දක්වා නැත්තේ නම් මිස), ප්‍රධාන සේවා සැපයුම සඳහා ක්‍රියාදාම, වැදගත් තැනැත්තන් හා සම්බන්ධ වීමේ ඇමතුම් දත්ත සහ අධිරෝහණ ක්‍රියාදාම ආදියට අදාළව දත්ත හුවමාරු කර ගැනීම සඳහා දෙපාර්තමේන්තුව විධිවිධාන සැලැස්විය යුතුය. පිරිනමනු ලබන සේවා සඳහා පාරදෘශ්‍ය පදනමකින් කාල නිශ්චිත ක්‍රියා පටිපාටි ද දෙපාර්තමේන්තුව සැපයිය යුතුය.

ආ. බුද්ධිමය දේපළ ආරක්ෂා කිරිම

දෙපාර්තමේන්තුව දත්ත හුවමාරු කර ගැනීම දෙපාර්තමේන්තුවේ මෙන්ම පුද්ගලයන්ගේ යන දෙපාර්ශවයේම බුද්ධිමය දේපළ ආරක්ෂා කළ යුතුය. දෙපාර්තමේන්තුවේ දත්ත හුවමාරු කර ගැනීමේ ප්‍රතිපත්තිය, සපයා ඇති දත්ත කට්ටලය සඳහා බුද්ධිමය දේපළ අයිතිවාසිකම් ආරක්ෂණය කිරීමේ අයිතිය ඉක්මවා නොයා යුතු අතර දෙපාර්තමේන්තු විධිනියෝගය සඳහා බු.දේ.අ. ප්‍රතිපත්තිවල කවර හෝ වෙනස් කිරිමක් සිදුකළ යුත්තේ දෙපාර්තමේන්තු මෙහෙයුම් පාලනය කරන්නා වූ රීති සහ රෙගුලාසිවලට අනුකූලවය.

ඇ. දත්ත පුද්ගලිකත්වය (privacy ) ආරක්ෂා කිරීම

තොරතුරු හුවමාරු කර ගැනීමට පෙර, දත්ත පුද්ගලිකත්වය කල් වේලා ඇතිව සැලකිල්ලට ගත යුතුය. දත්ත පුද්ගලිකත්ව සම්බන්ධයෙන් වත්මනෙහි ශ්‍රි ලංකාව සතුව කිසිදු ජාතික ප්‍රතිපත්තියක් නොමැත; එසේ වුවත්, තොරතුරු හුවමාරු කර ගැනීමට පෙර තොරතුරු ප්‍රාරම්භකයන්ගේ අවසරය ලබා ගැනීම අවශ්‍ය වේ. අන්තර් දෙපාර්තමේන්තු දත්ත හුවමාරු කර ගැනීම සඳහා ද ඒ හා සමාන සැකසුම් අවශ්‍ය වේ. කෙසේ වෙතත්, පුද්ගලිකත්වයට යටත් දත්ත, දත්ත හුවමාරු කර ගැනීමේ ප්‍රතිපත්තිය අභිභවනය කළ යුතුය.

ඈ. අන්තර් ක්‍රියාකාරිත්වය සහ ලංකා අන්තර් ක්‍රියාකාරී හැකියා රාමුව ((LIFe) සමග සම්බන්ධ වීම

විද්‍යුත් දත්ත ආකෘති රාශියකින් ගබඩා කරනු ලබන අතර ඒ අතුරින් ආකෘති විශාල සංඛ්‍යාවක් අනොන්‍යව කියවා තේරුම් ගත නොහැකි වේ. එබැවින්, එක් රජයේ දෙපාර්තමේන්තුවක් හාමිකාරිත්ව ආකෘතියකින් සිය ලේඛන සුරැකීම අනෙකුත් දෙපාර්තමේන්තුවලට/ පුරවැසියන්ට එම දත්ත මූලාශ්‍ර සමග කාර්යක්ෂම අන්තර්ක්‍රියා කිරිම සඳහා ඉඩ නොදීමට ඉඩ ඇත. එවැන් හේතුන් නිසා, රජයේ දෙපාර්තමේන්තු සියල්ල විසින් නිශ්චිතව පනවනු ලැබූ ප්‍රමිති පරිහරණය කරනු ලැබිය යුතුය. මේ සඳහා උපකාර වීම පිණිස, අන්තර් ක්‍රියාකාරී හැකියා රාමුවක් (ලංකා අන්තර් ක්‍රියාකාරී හැකියා රාමුව) තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් අර්ථ නිරූපණය කර ඇති අතර එය දත්ත හුවමාරු කර ගැනීමේ ප්‍රමිති සැපයීම සඳහා වු යාන්ත්‍රණ පාලනය කරයි. ජාතික මට්ටමින් ල.අ.ක්‍රි.හැ. රාමුව යොදාගැනීමට පහසුකම් සැපයීම පිණිස ල.අ.ක්‍රි.හැ.රාමුව දෙපාර්තමේන්තුව සඳහා වන දත්ත හුවමාරු කර ගැනීමේ ප්‍රතිපත්තියට අනුකූල විය යුතුය.

ඉ. නෛතික සහාය සහ විධිනියෝග

අනෙකුත් දෙපාර්තමේන්තු සහ මහජනයා සමග දත්ත හුවමාරු කර ගැනීමට පහසුකම් සැපයිම පිණිස අවශ්‍ය කරනු ලබන වෙනස්කම්වල හිමිකාරිත්වය දෙපාර්තමේන්තුව රාජ්‍යය ආයතන සතු විය යුතුය. අවශ්‍ය කරනු ලබන වෙනස්කම් වලට:

  • බු.දේ. අයිතිවාසිකම් සහ දත්ත පුද්ගලිකත්වය සඳහා වෙනස්කම් සහ
  • විවිධ දෙපාර්තමේන්තු සමග අවබෝධතා ගිවිසුම්/ සමාගම් පරමාර්ථ ප්‍රකාශ ඇතුලත් විය හැකිය.
ඊ. දත්ත හුවමාරු කර ගැනීම සඳහා හැකියාව ඇති කිරීම සහ ප්‍රවර්ධනය කිරිම පිණිස නිල වගකීම

දත්ත හුවමාරු කර ගැනීම සඳහා හැකියාව ඇති කිරීම සහ ප්‍රවර්ධනය කිරිම පිණිස නිල වගකීම දෙපාර්තමේන්තුව බාරගත යුතුය. දත්ත හුවමාරු කර ගැනීමට පහසුකම් සැපයීම අවශ්‍ය සියලු ක්‍රියාදාම, කණ්ඩායම් සහ ආධාරක තාක්ෂණය දෙපාර්තමේන්තුව විසින් ස්ථාපිත කළ යුතුය.

උ. දත්ත පූර්ණත්වය සහ නිරවද්‍යතාව පිළිබඳ වගවිම 

දත්තවල පූර්ණත්වය සහ නිරවද්‍යතාව පිළිබඳ වගවිම අතිශයින් වැදගත් බව සැලකිල්ලට ගත යුතුය. එබැවින් දත්ත පූර්ණත්වය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය සියලු පියවර රාජ්‍යය ආයතන විසින් ගත යුතුය. කාලගුණ තොරතුරු වැනි සාවද්‍ය විවෘත දත්ත විනාශකාරි ප්‍රතිඵල ඇති කළ හැකි බැවින් දත්තවල නිරවද්‍යතාව සහතික කිරිම ඉතා වැදගත් වේ.

ඌ. තාක්ෂණික සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව

තාක්ෂණික සහ මෙහෙයුම් කාර්යක්ෂම යාන්ත්‍රණ හරහා දත්ත හුවමාරු කර  ගැනීමට දෙපාර්තමේන්තුව සියලු ප්‍රයත්න දැරිය යුතුය. මින් අදහස් වනුයේ දත්ත හුවමාරු කර ගැනීම දෙපාර්තමේන්තුමය කර්තව්‍ය මත අතිරේක බරක් නොවන පරිදි ප්‍රශස්ත ශිල්පීය ක්‍රම සහ මාර්ගෝපදේශයන්ගෙන් දෙපාර්තමේන්තුව නිසි ප්‍රයෝජන ගත යුතු බවයි. අවම මිනිස් ප්‍රයත්නයකින් යුතුව සුමට දත්ත හුවමාරුවක් පිණිස ක්‍රියාදාම ප්‍රශස්තකරණය සඳහා අවශ්‍ය වෙනස්කිරීම් දෙපාර්තමේන්තුව සිදුකළ යුතුය.

එ. මිලකරණය

නිල සංඛ්‍යාලේඛන ලෙස ප්‍රකාශයට පත්කරනු ලැබූ සියලු දත්ත, පාර දත්ත සහ සංඛ්‍යාන නිපැයුම් සියලුම පරිශීලකයන්ට නොමිලයේ ලබා දිය යුතුය; එසේ නොමැති නම් ප්‍රතිනිෂ්පාදනයට හෝ ව්‍යාප්ති පිරිවැය ආවරණය කිරිම පිණිස වන ප්‍රතිසාධන මුදලට වඩා වැඩි නොවිය යුතුය.

සීමා කරනු ලැබූ හෝ අනුදත් ප්‍රවේශය යටතේ හුවමාරු කර ගත යුතු දත්ත ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්තිය ප්‍රකාරව දත්තවල හිමිකරු වන රජයේ දෙපාර්තමේන්තුව හෝ නියෝජිතායතනය විසින් තීරණය කරනු ලබන මිලකට හුවමාරු කර ගත හැකිය. දත්ත නිර්මාණය කරනු ලබනුයේ සහ උත්පාදනය‍ හෝ එක්රැස් කරනු ලබනුයේ හිමිකාර නියෝජිතයාතනයයි. එවැනි සියලු පිරිවැය අදාළ රජයේ දෙපාර්තමේන්තුව විසින් කල් තබාම වෙබ් අඩවියේ, නිවේදන පුවරුවල සන්නිවේදනය හෝ ප්‍රකාශයට පත්කළ යුතුය.

ඒ. දත්ත ගුණාත්මකභාවය පවත්වාගෙන යාම

දත්තවල ගුණාත්මකභාවය, සහ පූර්ණත්වය සහතික කිරීම සඳහා දත්ත හිමි දෙපාර්තමේන්තුව විසින් සුදුසු සංඛ්‍යාලේඛන සම්පාදන සහ ප්‍රචාරණ පරිචයන් යොදාගත යුතුය. දත්ත සම්පාදනය සහ ප්‍රචාරණය සඳහා කාර්ය පටිපාටි අනුගමනය කිරීම ඉහළ මට්ටමක් වෘත්තීයභාවයක් සහතික කරයි.

සටහන: ඉහත දෙපාර්තමේන්තුව යන්නෙන් තොරතුරු සපයන්නා හෝ තොරතුරු සොයන්නා ලෙස දත්ත හුවමාරු කර ගැනීමේ ක්‍රියාදාමයෙහි නියුක්තව සිටින ඕනෑම සංවිධානයක්/ ආයතනයක්/ අමාත්‍යාංශයක් ආදිය අදහස් වේ.

දත්ත හුවමාරු කර ගැනීමේ පළමු පියවර වනුයේ තොරතුරු වර්ගීකරණයයි. මෙම රාමුව හරහා, අදාළ දත්ත හුවමාරු කර ගැනීමේ සංවේදීතාව සහ බලපෑම මත පදනම්ව දත්ත මූලිකාංග හඳුනාගෙන වර්ගීකරණය කරනු ලැබේ. වර්ගීකරණ ආදර්ශයේ පහත අංග තිබේ.

රාමුවේ ප්‍රධාන සංරචකයන්ට පහත දෑ අයත් වේ.

වර්ගීකරණ මට්ටම

වර්ගීකරණ මට්ටමක් තොරතුරුමය වත්කම් සඳහා ආදේශ කළ යුතු රහස්‍යතා ශ්‍රේණිගත කිරීමක් (හෝ ආරක්ෂක ශ්‍රේණිගත කිරීමක්) නියෝජනය කරයි. තොරතුරු වර්ගීකරණ රාමුවේ කොටසක් ලෙස “පොදු”, “සීමිත ප්‍රවේශය සහිත”, “රහස්‍ය” සහ “රහස්” ලෙස ප්‍රධාන ආරක්ෂක වර්ගීකරණය සලකුණුකිරීම් මට්ටම් හතරක් නිර්වචනය කර තිබේ.

ප්‍රචාරණ සීමාකිරීම් ලකුණු

ප්‍රචාරණ සීමාකිරිම් ලකුණු, නිල තොරතුරු හඳුනාගැනීම සඳහා ආරක්ෂක වර්ගීකරණ පද්ධතිය ඌනපූරණය කරයි. තොරතුරු අනාවරණය කිරීම නීතිය මගින් සීමා කරනු ලැබ ‍හෝ තහනම් කරනු ලැබ ඇති විටකදී ‍හෝ අන්‍යාකාරයෙන් විශේෂ හැසිරවීමක් නියමකර ඇති විටදී තොරතුරු සඳහා සලකුණු කිරීම් වනුයේ ප්‍රචාරණ සීමාකිරිම් ලකුණුය.  ප්‍රචාරණ සීමාකිරිම් ලකුණු දරන තොරතුරු වෙත ආදේශ කරනු ලැබීමට නියමිත යෝග්‍ය ආරක්ෂාවන් නිර්ණය කිරීම සඳහා දෙපාර්තමේන්තු/ නියෝජිතායතන වගකිව යුතු වේ. ප්‍රචාරණ සීමාකිරීම් ලකුණු පහත කාණ්ඩ හතර යටතේ වර්ගීකරණය කොට ඇත: සංවේදී, සංවේදී: පුද්ගලික, සංවේදී: නෛතික සහ සංවේදී: රජය.

කේවියටය

කේවියට යනු තොරතුරු වෙත ප්‍රවේශය ඇති ජනතාව නිශ්චිතව දක්වන හෝ සීමාකරන අනතුරු හැඟවීම් වේ. තොරතුරු සමග කේවියට භාවිතය, ආරක්ෂා කිරීම් සලකුණු මගින් දක්වා ඇති ඒවාට අමතරව එම තොරතුරු සඳහා විශේෂ අවශ්‍යතා ඇති බව හඟවයි. නියෝජිතායතන නිශ්චිත කේවියට දරන තොරතුරු එම නියෝජිතායතනයෙන් බාහිරට නිදහස් කිරීම‍ට හෝ සම්ප්‍රේෂණය කිරිමට පෙර නැවැත ලේබල් කරනු ලැබිය යුතු හෝ උචිත කාර්ය පටිපාටීන්ට එකඟ වනු ලැබිය යුතුය. ප්‍රාරම්භක නියෝජිතායතනයේ පූර්ව ගිවිසුම - වෙනත් වචනවලින් පවසතහොත් - තොරතුරු මත‍ කේවියටය මුලින්ම ස්ථාපිත කරනු ලැබූ නියෝජිතායතනය - කේවියටය ඉවත් කිරීම අවශ්‍ය වේ. කේවියටය ඉවත් කිරිම සඳහා ප්‍රාරම්භක නියෝජිතායතනය එකඟ නොවන්නේ නම්, එවිට අදාළ තොරතුර නිදහස් කිරීමට නොහැකිය. තොරතුරු නිදහස් කිරිම සඳහා ප්‍රාරම්භක නියෝජිතායතනයේ එකඟතාව ලබාගැනීමේ අවශ්‍යතාවය කිසිදු අවස්ථානුගත කරුණක් යටතේ ප්‍රතිපත්ති ව්‍යතිරේකයකට යටත් කළ නොහැකිය. පහත දැක්වෙන කාණ්ඩවල ආරක්ෂක කේවියට භාවිතා කරනු ලැබේ: විශේෂයෙන් අවසරලත් අයට පමණි, අවසරය අවශ්‍ය වේ, සම්පූර්ණ කරනු ලැබූ විටදී, තෙක් නිදහස් නොකරනු.

මෙම මූලිකාංග මත පදනම්ව ක්‍ර‍මවේදය, ක්‍රියාදාම සහ දත්ත වර්ගීකරණය සඳහා අවශ්‍ය මෙවලම් අන්තර්ගත කරමින් රාමුවක් නිර්වචනය කර තිබේ. දත්ත මූලිකාංග සඳහා වර්ගීකරණ ශ්‍රේණිගත කිරීම් වෙන්කිරිම සඳහා පුළුල් මට්ටමේ ගැලුම් රූපසටහනක් ඔබගේ බලාගැනීම සඳහා ඇමුණුම 1 හි සඳහන් කර ඇත. දත්ත වරගීකරණයක් කරනුයේ කෙලෙසද යන්න පිළිබඳ වැඩි විස්තර සඳහා කරුණාකර දත්ත වර්ගීකරණ රාමුව/ලේඛනය බලන්න

දත්ත හුවමාරු කර ගැනීම සේවා හරහා සිදුකරනු ලබන බැවින් දත්ත වර්ගීකරණ රාමුව මත පාදකව වෙනම සේවා වර්ගීකරණ රාමුවක් අර්ථ දක්වා ඇත. ‍එම ආදර්ශය දත්ත හුවමාරු කර ගැනීමේ ප්‍රතිපත්තිය සමග ද අනුකූල වේ.

සේවා වර්ගීකරණ මට්ටම

පවරනු ලබන ආරක්ෂක වර්ගීකරණය වර්ගය මත පදනම්ව, දත්ත වෙත ප්‍රවේශය නියාමනය කරනු ලැබීමට හෝ තෝරාගත් පුද්ගලයන් කණ්ඩායමකට හෝ මෙහෙයුම් ඒකකවලට සීමා කිරීමට ඉඩ ඇත.තොරතුරු වෙත ප්‍රවේශය සපයන අතරම රජයේ සියලු දත්ත උත්පාදනය කරනු ලබන්නේ මහජන මුදල් භාවිතා කර බැව් සැලකිල්ලට ගත යුතු අතර එබැවින් ආරක්ෂක සහ පුද්ගලිකත්වය පිළිබඳ අවශ්‍යතා ආරක්ෂා කරනු ලබන තාක් තොරතුරු වෙත ප්‍රවේශය අසීමිත, පහසු, කාලානුරූප සහ පරිශීලක මිත්‍රශීලී විය යුතුය. රජය සතු දත්ත වෙත සපයනු ලබන ප්‍රවේශය පහත දැක්වෙන ආකාරයේ ඒවා විය හැකිය.

1. විවෘත ප්‍රවේශය

ඕනෑම පුද්ගලයකුට/ නියෝජිතායතනයකට නිදහසේ ප්‍රවේශ විය හැකි දත්ත සහ කිසිදු ක්‍රියාදාමයක් හෝ ලියාපදිංචි කිරීමක්/ බලය පැවරීමක් තොරව ප්‍රවේශය සපයනු ලැබීම විවෘත දත්ත සේ සදහන් කරනු ලබන අතර සියල්ලටම නිදහසේ ප්‍රවේශ විය හැකිය.

2. බලයලත් ප්‍රවේශය

අදාළ දෙපාර්තමේන්තු/ සංවිධාන විසින් ලියාපදිංචිකිරීමේ/ බලය පැවරීමේ නියම කරනු ලැබූ ක්‍රියාවලියක් හරහා පමණක් දත්ත කට්ටල වෙත ප්‍රවේශ්‍ය විය හැකි විටදී දත්ත වෙත ප්‍රවේශය සීමා කරනු ලැබේ. සීමිත ප්‍ර‍වේශය සහිත දත්ත ලබා දිය යුත්තේ නිර්වචිත කාර්ය පරිපාටි හරහා පිළිගත් ආයතන/ සංවිධාන/ පොදු පරිශීලකයන්ට පමණි. එවැනි දත්ත ඉල්ලා සිටින්නෙකුට ඔහුගේ/ ඇයගේ අනන්‍යතාව නිවැරදි බවට සහතික කිරීමට සිදුවිය හැකි අතර  නිවැරදි ප්‍රලේඛනය සහ අවසර දීම ඉදිරිපත් කිරීම මගින් ප්‍රශ්නගත දත්ත වෙත ප්‍රවේශ වීම පිණිස වලංගු හේතුවක් සැපයීමට සිදුවනු ඇත.

3. සීමිත ප්‍රවේශය

සීමිත ලෙස ප්‍රකාශයට පත්කර ඇති දත්ත වෙත ප්‍රවේශ විය හැක්කේ අවසර දීම හරහා සහ යටතේ ‘දැනගැනීමට අවශ්‍ය වේ’ යන පදනම මත පාදකව තෝරාගත් පුද්ගලයන්ට හෝ සංවිධානවලට වේ.

සේවා වර්ග

සපයනු ලබන සේවා හරහා හුවමාරු කර ගනු ලබමින් තිබෙන්නා වූ තොරතුරු වර්ග මෙයින් අදහස් වේ. පහත දැක්වෙන පරිදි සේවා වර්ග පුළුල් කාණ්ඩ දෙකකට වර්ගීකරණය කර තිබේ:

1. දත්ත සේවා

දත්ත වත්කමේ ව්‍යුත්පන්න සංවේදීතාව මත පරායත්තව දත්ත වත්කම තුල සමහර හෝ සියලු දත්ත මූලිකාංග හුවමාරු කර ගත හැකිය.

2. ‘සත්‍යාපනය පමණි’ සේවාව (Verification Service)

යෙදවුම් කිහිපයක් ලබා දී මුලාශ්‍ර දත්ත පදනමේ නිසි සත්‍යාපන සිදුකරනු ලැබීමෙන් පසුව ඔව්/නැත පිළිතුරක් ලබා දිය හැකිය.

මෙම මූලිකාංග මත පදනම්ව, සේවා වර්ගීකරණය සඳහා ක්‍රමවේදයක්, කාර්ය පටිපාටියක් සහ අවශ්‍ය උපකරණ අන්තර්ගත කරමින් රාමුවක් අර්ථ නිරූපණය කර ඇත. දත්ත වර්ගීකරණය මත පදනම් වූ සේවා වර්ගීකරණයක් පැවරුම සඳහා පුළුල් මට්ටමේ ගැලුම් රූපසටහනක් ඔබගේ බලාගැනීම සඳහා ඇමුණුම 2 හි සඳහන් කර ඇත.